මුල් පිටුව

හැදින්වීම

මේ දිනවල තරුණ තරුණියන් වැඩිපුරම කතා කරන මාතෘකා අතරට ඇන්ඩ්‍රොයිඩ් (ANDROID) යන නම ද ඇතුළත් ය. එය ස්මාට් දුරකතන (smart phones) සහ ටැබ්ලට් පරිගණක (tablet computers) ආදියෙහි භාවිතා කරනු ලබන මෙහෙයුම් පද්ධතියකි. මෙම මෙහෙයුම් පද්ධතිය ලොව පුරා ජනප්‍රිය වීමට බලපෑ ප්‍රධාන හේතු දෙකක් හඳුනාගත හැකි වෙයි. එක් හේතුවක් නම් සාධාරණ මිලකට ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සහිත ස්මාට් දුරකතනයක් මිල දී ගත හැකි වීමයි. අනෙක් හේතුව වන්නේ පරිගණකයක මෙහෙයුම් පද්ධතිය ස්ථාපිත කළ පසු විවිධ පරිගණක මෘදුකාංග එයට ඇතුළත් කරන්නා සේම මෙම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියට ද විවිධ වූ මෘදුකාංග ඇතුළත් කළ හැකි වීමයි. මෙවැනි මෘදුකාංග එනම්, ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියෙහි ස්ථාපිත කිරීම සඳහා නිපදවන ලද මෘදුකාංග ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් (ANDROID APPS) යනුවෙන් හඳුන්වනු ලබයි. මේ වනවිට ලෝකයේ විවිධ ආයතන මෙන්ම විවිධ පුද්ගලයන් විසින් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සඳහා මෘදුකාංග නිපදවා ඇති අතර සිංහල භාෂාවෙන් තම කටයුතු කර ගැනීමට හැකි වන ලෙස ද මේ වනවිට මෘදුකාංග නිර්මාණය වෙමින් පවතී.

මෙලෙස සිංහල භාෂාව සඳහා නිර්මාණය කෙරුණු නවතම ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයක් ලෙස “ඉඟිවදන” සිංහල ස්වයං පෙළ පිරික්සුම් මෘදුකාංගය (Sinhala Predictive Text Input System) හඳුන්වා දිය හැකි වෙයි. නෝවේජීයානු ස්වයං පෙළ පිරික්සුම් මෘදුකාංගයක් අනුසාරයෙන් නිර්මාණය කර ඇති මෙම මෘදුකාංගය කොළඹ විශ්ව විද්‍යාලයීය භාෂා තාක්ෂණ පර්යේෂණාගාරය විසින් නිර්මාණය කරන ලද්දකි. මෙම මෘදුකාංගය භාවිත කිරීමෙන් පරිශිලකයන්ට සිංහලෙන් කෙටි පණිවිඩ, විද්‍යුත් තැපෑල පණිවිඩ යැවිය හැකි අතර අන්තර්ජාලය සිංහලෙන් ගවේෂණය කිරීමේ හැකියාව ද පවතී. මෙම මෙවලමෙහි ඇති විශේෂතා අතර යතුරුලියනය කිරීමේ හැකියාව පැවතීම එක් විශේෂතාවකි. එනම්, යතුරු පුවරුවේ ඉංග්‍රීසි අකුරු වෙනුවට සිංහල අකුරු වලින් සමන්විතව පැවතීමයි. මෙම මෙවලම භාවිත කිරීමෙන් සිංහල භාෂාවෙන් වැඩ කරන අයට ඉතාමත් පහසුවෙන් යතුරු ලියනය කළ හැකි වෙයි. තවද මෙම මෘදුකාංගය මෙහෙයුම් පද්ධතියෙන් පරිබාහිරව ක්‍රියාත්මක වන මෘදුකාංගයක් (Standalone Application) නොවන බැවින් පෙළ භාවිතා කරන ඕනෑම අවස්ථාවක දී ප්‍රයෝජනයට ගත හැකි ය. එසේම මෙය විජේසේකර යතුරු මුහුණත සහ මෙම මෙවලම සඳහාම නිර්මාණය කෙරුණු යතුරු මුහුණතකින් (LTRLAndroKey) සමන්විත වෙයි.